මනාලයා කේක් කවද්දී මනාලිය ‘ඌයි’ කියලා – අන්තර්ජාලයෙන් ඇණවුම් කළ කේක් එකේ ඉදිකටු

0
35

පසුගියදා දකුණේ  ඉහළින්ම පැවැත්වූ මංගල සාදයකට  අන්තර්ජාලය ඔස්සේ ලබාගත් තොරතුරු මත මංගල කේක් ගෙඩිය ලබාගෙන ඇති අතර ඒ තුළින් සිදු වූ මහත් අකරතැබ්බයක් පිළිබඳව අපූරු පුවතක් අහුංගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. අදාළ මංගල උත්සවය ආසන්න වනවාත් සමඟම කේක් සාදවා ගැනීම සඳහා පවුලේ අය විවිධ ස්ථානයන් නම් කළද මනාලියගේ නැඟණියට අවශ්‍ය වූයේ ඉස්තරම්ම වර්ගයේ කේක් ගෙඩියක් සාදවා ගැනීමටය. ඒ සඳහා ඇය දින ගණනක් තිස්සේ අන්තර්ජාලයේ සැරිසැරූ අතර පසුව උසස්ම තත්ත්වයේ කේක්  සකස් කර දෙන බව සඳහන් ස්ථානයක්   නුදුරින් වූ බේරතුඩුව නමැති  ප්‍රදේශයේ ඇති බවට එහි සඳහන් විය.

ඒ අනුව එහි සඳහන් වූ දුරකථන අංකයට කතා කළ ඇයට ඉස්තරම් වර්ගයේ කේක් එකක් සාදා දීමට හැකි බව කාන්තාවක් පැවැසුවාය.

ඒ අනුව ඇය විසින් ඒ සඳහා රුපියල් 6500ක් අවශ්‍ය බවත් අත්තිකාරම් ලෙස රුපියල් 1000ක් ගෙවන ලෙසටත් බැංකු ගිණුම් අංකයක් ලබාදුන් බැවින් ඒ අංකයට වහාම අත්තිකාරම් මුදල යැවීය.

ඒ අනුව මංගල උත්සවය පැවැති දින එම කේක් සාදන නිවෙස තිබෙන තැන විමසූ විට ඒ ගැන සඳහන් නොකළ අතර කිසියම් ස්ථානයක් සඳහන් කර පෙරවරු 7.00ට එම ස්ථානයට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ අනුව එම ස්ථානයට කාන්තාවක් පැමිණ කේක් ගෙඩිය ලබාදී ඉතිරි මුදල ද රැගෙන ආපසු ගියාය.

කේක් රැඟෙන යෑම සඳහා පැමිණි මනාලියගේ ඥාතියා එහි එතරම් ප්‍රමිතියක් නොතිබුණු බව දුටුවද   වෙනත් විකල්පයක් නොවූයෙන් අප්‍රසාදයෙන් වුවද ඉතිරි මුදල් ගෙවා එය රැගෙන වහාම හෝටලය වෙත ගියේ මනාපයකින් නොවේ.

ඥාති පිරිස මැද කේක් කපා  මනාලයා විසින් මනාලියට කවනවාත් සමඟම ඇය උෟයි හැඳින් කෑ ගසන්නට වූයෙන් සියලුමදෙනා කලබලයට පත්වූහ. ඒ අනුව පසුව සොයා බැලීමේදී කේක් ගෙඩිය තුළ තිබූ ඉදිකටුවක් මනාලියගේ විදුරුමසේ ඇනීමෙන් ඇය මහත් වේදනාවට පත් වී සිටි අයුරු කාගෙත් සංවේගයට හේතුවිය. පසුව   කේක් කැපීම නතර කර පරික්ෂා කිරීමේදී එහි තවත් ඉදිකටු හතරක් තිබී හමුවිය.

මේ  සම්බන්ධයෙන් කේක් සැකසූ  කාන්තාවට ඇමතුමක් ගෙන සිද්ධිය පැවසූ විට  කේක් සම්බන්ධ කිරීමට  ඉදිකටු භාවිත කරන බවත් එය ඉවත් කිරීමට අමතක වීමෙන් මෙය සිදුවන්නට ඇති බවත් ඇය මහත් සැහැල්ලුවෙන් පැවසුවාය.

කෙසේ වුවද අලුත් ක්‍රමවේද ඔස්සේ ගොස් අමාරුවේ වැටුණු බව පැමිණි පිරිස් මනාලියගේ නැඟණියට පැවැසූවේ  මේවා කාට කාටත් හොඳ පාඩම් බවය.

කෙසේ වුවද සිදුවූ අපහසුතාව එතෙකින් නිමා වුවද ඉදිකටුවක් යමකුට ගිලුණේ නම් විශාල අකරතැබ්බයක් සිදුවන බව ඥාතීන් පැවැසුවේ මහත් කලකිරීමෙනි.

මේ සම්බන්ධයෙන් අදාළ අංශවලට පැමිණිලි කළ බවත් පාරිභෝගික අධිකාරියටද මේ සිද්ධිය පිළිබඳ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවත් මෙවැනි ජාවාරම්කරුවන්ට රැවටෙන පිරිසට මෙය හොඳ පණිවුඩයක් බවත් මනාලියගේ ඥාතියකු  පැවැසීය.

මේ සිද්ධියෙන් අපහසුතාවට පත් වූ සැමගෙන් සමාව අයදින බවත්  මෙය රහසක් ලෙස තබා ගන්නා ලෙසත් මනාලියගේ පියා සැමගෙන් කාරුණික ඉල්ලීමක්ද කර ඇත.

ධර්මදාස සිරිවර්ධන

Live TV Cricket